Sunday, July 20, 2014

මාපලාන දියඇල්ල


මාපලාන දියඇල්ල ශ්‍රී ලංකාවේ උසින් සිව්වන ස්ථානයද සබරගමුව දිස්ත්‍රික්කයේ දියඇලි අතර උසින් ප්‍රථම ස්ථානයද 
හිමි කරගෙන ඇති දර්ශනීය දිය ඇලි කොමලියකි. 
ප්‍රකට සිරිපා මාර්ගයේ පලාබද්දල පිහිටි මෙම දියඇල්ලට පිවිසිය හැක්කේ රත්නපුර හෝ කුරුවිට සිට ගිලීමලේ 
හරහාය. ගමනට රත්නපුර හරහා මාර්ගය භාවිතය වඩා පහසුය. 
පලාබද්දල සිටද 3 km පමණ දියඇල්ල අසලට ඇති අතර එම දුර පයින් හෝ වාහනයකින් යා හැක.
මාපා නාන දිය ඇල්ල, මාපලාන දිය ඇල්ල ලෙස ව්‍යවහාර වීමෙන් මෙම දිය ඇල්ලට නම ලැබුණු බව සිතා ගත 
හැක.
මාපලාන දිය ඇල්ල 148 mක පමණ උසකින් යුතු අතර තට්ටු තුනකට කඩා හැලේ. 1862 m උස බෑන සමනල කන්දෙන් 
ඇරඹෙන මස්කෙලි ඔයෙන් කොණ්ඩගල නම් ස්ථානයේදී නිර්මාණය වන මාපලාන දිය ඇල්ලේ ජලය අවසානයේදී 
එකතු වන්නේ කළු ගඟටයි.
දිය ඇල්ල දිය බිඳු විසුරුවමින් ගත සිසිල් කරමින් කඩා හැලෙන දර්ශනය සොබා සංචාරකයාට අමතක නොවන 
අත්දැකීමකි. ඔය ඉහත්තාවට ලැබෙන වර්ෂාපතනය අනූව දිය ඇල්ලේ ජලස්කන්ධය ක්ෂණිකව උච්චාවචනය වේ.
මෙ‍ම දිය ඇල්ල ආශ්‍රිතව ඇති නිවර්තන තෙත් පරිසර පද්ධතිය මසුන්, උභය ජීවීන්, උරගයින්, පක්ෂීන්, ක්ෂීරපායින්
හා දුලබ සමනල විශේෂ රැසකටද නිවහන් වී ඇත. තොලරතු වැලිගොව්වා, පොල් අහිරාවා, ලෙහෙල්ලා වැනි මත්ස්‍ය
විශේෂද ලේ මාපිලා, කුනකටුවා, මුදු කරවලා, පොලඟා, නයා වැනි සර්ප විශේෂද සර්ප රාජාලියා, වලිකුකුලා, රත් 
නලල් කොට්ටෝරුවා, ශ්‍රී ලංකා අළු ගිරවා, කළු හිස් කොණ්ඩයා, කළු කොණ්ඩයා, නීල මහගොයා, ශ්‍රී ලංකා ගිරා
මලිත්තා වැනි කුරුළු විශේෂද මී මින්නා, ඕලු මුවා, ඉත්තෑවා, වල් ඌරා, දිය බල්ලා වැනි ක්ෂීරපායි විශේෂද මෙම 
පරිසරයේ දිවි ගෙවති.
බදුල්ල, හොර, වෙනිවැල් ගැට, ගොනු කෑ වැල්, නෙලු, රහනෙලු, මානුග, කලානුග, ලාවේණියා, කැළෑණිය වැනි
ඔසු විශේෂ මෙම පරසරයේ දුලබ නොවේ. 
දුර බැහැර නිසාම සංචාරක ස්පර්ශයක් නොලද නාගරිකත්වයෙන් දූෂ්‍ය නොවූ මෙම පරිසරය තවදුරටත් ඒ අයුරින් 
ආරක්ෂා වේවා යනු මගේ පැතුමයි.

නිලංග රණතුංග

(2012/2013)
  

2 comments:

  1. හ්ම් .................... බොහොම වටිනා අදහස් ටිකක්.... ඇත්තට ම බලන්න යන්න හිතෙනවා............

    ReplyDelete
    Replies
    1. මේ වගේ තැන් තව දහස් ගනනක් තියෙනවා ලංකාව වටේම.. ඒත් ඒ හැම තැනකටම ගිහින් ඒ ලස්සන විඳගන්න අපි පින් කරල මදි කියලයි හිතෙන්නෙ,,,

      Delete