Saturday, August 1, 2015

සශිගේ කතාව - 2 සොම්බීකරනය (Zombification)



සශි ට පෑන අතට ගන්න ලැබුනේ ගොඩක් කාලෙකින්. (කවුරු මොන සුරංගනා කතාව කිවුවත් සශිලට තියන වැඩකන්දරාව දන්නේ එයාලමනේ). මේ සශිගේ කතාවේ දෙවනි කොටස. පළවෙනි කොටස ලියලා සෑහෙන කාලයක් වෙන නිසා ආයෙත් කියන්නම්කෝ කවුද සශී කියලා. සශි කියනේ “සරසවි ශිෂ්‍යයා” කියන එක. ඒක ටිකක් දිග වැඩි නිසයි නිතරම පාවිච්චි කරන්න වෙන නිසයි සශි කියල කියනවා.
දවසක් සශී එයගේ පවුලේ කට්ටියක් එක්ක නුවර ටවුන් එකේ වැඩකට ගියා. Luch ගන්නේ කොහෙන්ද කියල කතා වෙද්දී සශි කිවුවා,
 “සිංහල ජාතික හෝටලයට යමු” කියලා.
සශි දිහා අමුතු විදිහකට බලපු එයාගෙ පවුලෙ නංගි කෙනෙක්,
 “මොකද්ද හලෝ ඔය ජාති වාදේ!” කියලා නෝන්ඩියට වගේ කිවුවා.
සශි ට ඒ වෙලාවෙ යකා නැග්ගත් ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. ඉතිං සශී හිතුවා මේකට උත්තරේ හැමෝමත් එක්ක කතා කරන්න ඕන කියලා. හැබැයි ජාතිවාදය ගැන නම් නෙවෙයි, “හැඟීම් දැනීම්” ගැන.
තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියන එක ජාතිවාදයද????
මැරෙන්නේ නෑ කියන්නේ ජීවත් වෙනවා කියන එකට නෙවෙයි වගේ , අඬන්නේ නෑ කියන්නේ සතුටින් ඉන්නවා කියන එකට නෙවෙයි වගේම, තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියනවා කියන්නේ අනිත් ජාතීන්ට වෛර කරනවා කියන එක, එහෙමත් නැත්තම්  ජාති වදියෙක් කියන එක නෙවෙයි. සශි කැමතියි තමන්ගේ ජාතියට හොඳක් වෙනවා දකින්න, හැබැයි ඒ කියන්නේ සශි අනිත් ජාතීන් වල සහෝදර සහෝදරියන්ට නරකක් වෙනවට කැමති කියන එක නෙවෙයි. සශිටත් ඕන තරම් අනිත් ජාතීන්ට අයත් යාළු මිත්‍රයෝ ඉන්නවා.
ඒත්මොකක්දෝ හේතුවකට අපේ රටේ තමන්ගේ ජාතිය ගැන හැඟිමක් තියන එකට කියන්නේ ජාතිවාදය කියලා; ආගම ගැන හැඟිමක් තියන උන්ට කියන්නේ ආගම්වාදියෝ කියලා; රට ගැන කවුරුහරි හැඟිමෙන් කතා කරොත් ඌ එදා ඉඳන් ජෙප්පෙක්; අහිංසක මිනිස්සු ගැන සමාජය ගැන කතා කරොත් කැරලිකාරයෙක්; නිදහස සමානාත්මතාව ගැන හැඟිමක් තියනව නම් විප්ලවකාරයෙක්; කාන්තාවන්ගෙ ගෞරවය ගැන හැඟිමක් තියන එකා නිවටයෙක්; අලුත් වෙනස් හැඟිම් තියනව නම් ඒ පිස්සෙක්; ගහන්න ලේබල් එකක් හොයගන්න බැරිම වෙලවට කියන්නෙ පිටසක්වල ජීවියෙක්.

චිත්‍රපටි වල ඉන්න වීරයා තමන්ගේ පෙම්වතිය ගැන තියන ආදරණීය හැඟිම නිසා දුෂ්ඨයෝ සීයක් විතර එක්ක fight කරන ඒවා බල බල අඬන අපේ මිනිස්සු, ජාතිය වෙනුවෙන් හඬ නගන එවුන්ට හිනා වෙනවා. pk ,කොස්තාපල් පුඤ්ඤසෝම වගේ films බලලා හිනාවෙන ගමන් රට, නිදහස වෙනුවෙන් අරගල කරන එවුන්ට බනිනවා. ඒක ටිකක් තේරුම් ගන්න වෙලා යන සංකීර්ණ විහිලුවක් කියලයි සශිට හිතුනේ. 
ජාතිය ගැන හිතන එකාට ජාතිමාමකයෙක්, ආගම ගැන හැඟිමක් තියන එකා ආගම් භක්තිකයෙක්, දේශය ගැන හිතනවනම් ඒ දේශප්‍රේමියෙක්, මිනිස්සු සමාජය ගැන හිතන එක සමාජ සේවය කියලා කියන්න තිබුනනේ. කියන්න තිබුනා නේද නිදහස සමානාත්වය ගැන කතා කරන කෙනා වීරයෙක් කියලා, අලුත් වෙනස් හැඟිම් තියන එකා නව චින්තකයෙක් කියලා?
 නෑ! මේ සමාජය එහෙම කරන්නේ නෑ!! මොකද හැඟිමක් ඇතුව ජීවත් වෙනවට වඩා ගොඩක් ලේසියි එහෙම ජීවත් වෙන අයට මඩ ලේබල් අලවන එක.අමාරුම දේ තමයි හැඟිම් දැනීම් ඇතුව ජීවත් වෙන එක.වැරැද්ද දැක දැක ඒ එනුවෙන් දෙයක් කරන්න ගිහින් කෙලවෙයි කියන බයට ශේප් න්‍යායෙන් නැට්ට හකුලගෙන ඉන්න, ඒ කොන්ද පන නැති පරාදීන මානසිකත්වයට තමයි අපේ රට සාමය, සංහිඳියාව, සෞභාග්‍යය, නිදහස  වගේ ලොකු වචන කියන්නේ.
සමාජය හැම වෙලාවෙම ව්‍යංගාර්ථයෙන් අපිට කියන්නේ හැඟිම් දැනීම් නැතුව හිටපල්ලා කියලයි. හරියට හැඟිම් දැනීම් කියන්නේ මිනිස්සුන්ට අයිති නැති දෙයක් වගේ. සශි දකින විදිහට නම් “නියම හැඟීම” හරියට බුලත් හුරුල්ලක් වගේ. හැම ගෙදරකම ඉස්සරහ හෙප්පුවක තියල තියනවා ප්‍රදර්ශනයට, තියනවා කියලා පෙන්නන්න වගේ. බුලත් දීලා අනිත් අයව පිලිගන්නවා, ආචාර කරනවා, ආරාධනා කරනවා bla bla..ඊලඟට ඒ මිනිස්සුම බුලත් ටික කටින් හප කරලා හැඟිම් වල තියන සාරය කෙල පිඩකුත් එක්ක කාණුවකට විසිකරනවා. අන්තිමට ඉතුරුවෙන රොඩ්ඩත් කුණුගොඩකට දානවා. ඉතුරු වෙන්නේ දත් වල වටේට ගෑවුන රතු පාට බුලත් කහට පැල්ලම් විතරයි.නියම හැඟීමෙ පාට ගෑවුන දත් පෙන්නලා හිනා වුනාම අනිත් අය හිතනවා ඒ හැඟිම් දැනීම් තියන මනුස්සයෙක් කියලා.

වෙලාවකට සශිට බයකුත් දැනෙනවා, තව ටික කාලෙකින් මේ දේ මිනිස්සුන්ගෙන් නැත්තටම නැති වෙලා ගිහින්, අවශ්‍ය වෙලාවට ගන්න හැඟිම් දැනීම් බෝතල් වල අහුරලා කඩවල් වල විකුණන්න තියෙයිද කියලා. (දැනටත් මිනිස්සුන්ගේ හැඟිම් market වෙනවා තමයි, සශී කියන්නේ ඊටත් අඩා දරුණු දෙයක් ගැන)



මේක ලියද්දි සශීට මතක් වුනේ The Walking Dead කියන TV series එක. ලෝකෙ ඉන්න මිනිස්සු ගොඩක් අය zombies ලා වෙලා. පාඨක ඔයාලා හැමෝම සොම්බීස් ලා නැත්තම් පිල්ලි ගැන දන්නවා ඇති නේ. භෞතික ශරීරයක් තිබුන වුනත් කිසිම හැඟිමක්  දැනීමක් නෑ, කියන දෙයක් තේරෙන්නේ නෑ, කාලයක් අවකාශයක් ගැන නිනවුවක් නෑ, ආදරයක් කරුණාවක් නෑ.තියෙන්නේ අරමුණු දෙකයි, Flesh and Survival; මාංශ සහ පැවැත්ම. අවශ්‍ය කරන්නේ අතට අහුවෙන සජීවී යැයි කියන  මොනවාහරි දෙයක මාංශ ටික කාලා පැවතෙන්න විතරයි. සශිට දැනුනේ මිනිස්සුත්සොම්බීකරණය (zombification) වෙලා වගේ හැගීමක්. ගොඩක් අය බලන්නේ කාලා බීලා තමන්ගේ මඩිය තර කරගෙන කොහොමහරි පැවතෙන්න මිසක්, හැගීම් දැනීම් තියන නියම මනුෂ්‍යයෝ විදිහට ජීවත් වෙන්න නෙවෙයි කියලා හිතනකොට සශිට දැනුනේ මහ මූසල හැගීමක්. ඒකදරාගන්න බැරිමතැන සශී කෑගැහුවා.( නියමයි සශි, සශි කෙනෙකුගේ ආකල්පය වෙන්න ඕනෙ ඕක තමා)
“හොඳයි, ජාතිය ගැන හැඟීමක් තියන එකාට කියන්නේ ජාතිවාදියා නම් මම ජාති වාදියෙක්  තමයි, ආගම රට ගැන මට හැගීමක් තියනවා, ඒ නිසා මට ආගම්වාදියෙක් හරි ජෙප්පෙක් හරි කියලා කියන්න, ප්‍රශ්නයක් නෑ. මට කැරලිකාරයෙක් කිවුවා කියලා මම අහිංසක මිනිස්සු ගැන තියන හැගීම නැති කරගන්නේ නෑ.මට විප්ලවවාදියෙක් කියන්න, මොකද මම සමානාත්මතාව නිදහස අගයන නිසා. පිස්සෙක්, නිවටයෙක් ඔය ඕන ලේබල් එකක් ගහන්න. තවත් මනුස්සයෙක් මරාගෙන කාල හරි තමන් පැවතෙන්න බලාගෙන ඉන්න මල පිල්ලියක්/සොම්බියෙක් වෙනවට වඩා හැගීම් දැනීම් දැනෙන හදවතක් තියන මනුෂ්‍යයෙක් විදිහට ජීවත් වෙද්දී ලැබෙන ඕනම ලේබල්එකකට මම කැමතියි….”
ඒත් එක්කම සශීගේ හිතේ එක ගීතයක කොටසක් play වෙන්න පටන්ගත්තා.   

“Graffiti decorations
Under a sky of dust
A constant wave of tension
On top of broken trust
The lessons that you taught me
I learn were never true
Now I find myself in question
They point the finger at me again
“Guilty by association”
You point the finger at me again”…………………………………………………..



කසුනිකා ක‍ටුකිතුල
(2012/2013)




2 comments:

  1. අපේ සින්ඩියෙත් ඔයාලා ඉන්නවා...

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete